බිළිඳියක් – දැරිවියක් – ලමිස්සියක් මේ හැමදේම එක්ක බැලුවම , ඒ හැම වචනයකම ඉන්නේ දියණියක් . එහෙම නැත්නම් ගැහැණියක් . ගැහැණියක් කියන්නෙම ගැහැණිය කියන්නෙ ඉවසීම – දරාගැනීම අතින් ඉස්සරහින්ම ඉන්න මනුස්ස ආත්මයකට . ගැහැණියකට මූණ දෙන්න වෙන අත්දැකීම් එක්ක තමයි ගැහැණියකගෙ වර්තමානය – අනාගතය වෙනුවෙන් ඒ ඒ ගැහැණිය මොන යම් හෝ විදියකට තමන්ගෙ ජීවිතය මේ සමාජය තුල පරිවර්තනය කරවන්නෙ . ගැහැණියකට ඕනම දේ තමයි ඉවසීම සහ දරාගැනීම කියන්නෙ . සමහර ගැහැණු ඉන්නවා ජීවීතේ බොහෝ දේ තනිවම විඳ දරාගෙන හුස්ම ගන්න . ගැහැණියක් වැඩි වියට පත් වූ තැන ඉඳන් මාසයක් ගානේ උහුලන වේදනාව ගැන දන්නෙ ගැහැණියක්ම විතරයි . එතනින් එහාට ගියාම විවාහ වෙලා දරුවෙක් කුසට ආවම ඒ ගැහැණිය තමන්ගෙ සියලු දේ ඒ කුසේ ඉන්න දරුවා වෙනුවෙන් කැප කරනවා . මාස නවයක් හෝ දහයක් තිස්සේම ගැහැණිය බැඳී සිටින්නේ ඒ කුස තුල වැඩෙන දරුවා එක්ක . දරුවකු කුස පිළිසිඳගන්න එක – ඒ දරුවා කුස තුල දරාගෙන ඉන්න එක ගැහැණියකට තියෙන ලොකුම අභියෝගයක් . ප්‍රශ්න කෝටියක් එනවා දරුවෙක් කුස තියන් ඉන්න ගැහැණියකට . නාද්දි කොණ්ඩෙ යන එක – චූටි චූටි බිබිලි එන එක – තුවාල – ඉන්ජෙක්ෂන් ගහන්න වෙන එක අඬද්දි හිනාවෙද්දි බබාගෙ බරත් එක්ක මුත්රාශයට ඒ බර දරන්න බැරි වීම නිසා මුත්‍රා යාම – උණ / කැස්ස / හෙම්බිරිස්සාවක් හැදුනම බේතක් බොන එක ගැන හිතන්න උනාම – ගර්භනී කාලයේදි නිතර ඇතිවන මුත්‍රා ආසාදන තත්වයන් නිසා ඇතිවන අපහසුතා කැමති ඇඳුමක් අඳින්න නැති වෙන එක කැමති කෑමක් කන්න බැරි වෙන එක පවා ගැහැණියම් මවක් බවට පරිවර්තනය වෙද්දි ඉවසීමෙන් දරාගන්නවා . මානසික ආතතිය එක්ක හැඟීම් වෙනස් වීම පවා ඇය ඉවසීමේන් දරාගන්නවා අනික් කිසි කෙනෙක්ගෙ හැඟීම් වලට බාධාවක් නොවෙන්න . ඇගේ මුළු ශරීර පද්ධතියම දරුවා මෙලොව එළිය දකිනකල්ම ඒ මාස දහයටම කැප කරනවා . දරු ප්‍රසූතියකදි පවා අසීමාන්තික වේදනාවක් ඇය විඳ දරාගන්නවා . එක සාමාන්‍ය දරු ප්‍රසූතියක් වුවත් සිසේරියන් සැත්කමක් වූවත් ඇයට දැනෙන වේදනාවේ අඩුවක් නෑ . ඒත් ගැහැණියක් මවක් වෙනකොට මේ හැමදේම එකම එක හිනාවකින් ඉවසීමෙන් දරාගන්න පුළුවන් එකම කෙනා ගැහැණිය විතරමයි . ඇයි දන්නවද ගැහැණියක් දන්නව හැමදේකම වටිනාකම . ආදරණීය පිරිමියෙක් එක්ක බැඳුනු ගැහැණියක් නම් ඒ කාලය ලස්සනට ගෙවයි . ඒත් සමහර අමුතු පිරිමි ලැබුන ගැහැණියකට පිරිමියෙක් ගෙන් තියෙන දායකත්වය මොකක්ද . එහෙම ගෑනු මේ අපේ රටේ කොච්චර ඉන්නවද . එතනින් එහාට ගත්තම දරුවා බිහි වුනාට පස්සෙ ඉඳලා කවදහරි තමන්ගෙන් ඈත් වෙලා ජීවිතය ගොඩ නගාගන්න දවසක් එනකල්ම ඒ දරුවගෙ හැම හැඟීමක්ම – හැම සිතුවිල්ලක්ම ගැහැණියක් මුලු ජීවිතය පුරාවටම දරාගන්නවා . ඒ වගේම අනික් හැම බැඳීමකින්ම අත් විඳින්න වෙන හැම දේමත් ගැහැණිය ඉවසීමෙන් දරාගන්නවා . අවසානයේදී හැම ගැහැණියක්ම ඒ හැමදේම එකම එක හිනාවකින් විඳගන්නවා .
ඉතිං ගැහැණිය කියන්නෙම අසීමාන්තිකව ආදරය හොයන කෙනෙක් . අසීමාන්තිකව ආදරය ලැබිය යුතු අසීමාන්තිකව ආදරය විඳිය යුතු මිනිස් ආත්මයක් . ගැහැණියට අසීමාන්තිකව ආදරය කරන්න . එවිට ඔබට ඇයගේ ශක්තිය – ධෛර්යමත් බව – ඉවසීම – දරාගැනීම – දුක සතුට සිනහව විඳගෙන අතීතයෙන් වර්තමානයටත් වර්තමානයෙන් අනාගතයටත් ඇවිදගෙන යන සියලු දේ ඉවසා දරාගනිමින් ජීවිතයට එන හැම අත්දැකීමක් දිහාම උපේක්ෂාවෙන් දකිමින් එකම එක හිනාවකින් ජීවිතය විඳින අපූර්වතම මිනිස් ආත්මයක් දකින්න පුළුවන් …
- – නිමා –




