අද සමාජයේ ජීවත් වෙන අපිට , විශේෂයෙන්ම ශ්‍රී ලාංකික සමාජ රටාව තුළ සමහර සම්බන්ධතාවයන් වලට මිනිසුන් විසින් දෙන අර්ථකථන දිහා බැලුවම , ඒ ඒ මිනිසුන්ගේ මානසිකත්වය පිළිබඳව අපට නීර්ණය කරන්නට පුළුවන් . ශ්‍රී ලාංකීය මිනිසුන් උගත් මානසික මට්ටමක සිටියත් ඇතැම් අවස්ථාවන් වලදී නූගත් සහ දූපත් මානසිකත්වය සමාජය ඉදිරියට ගෙන එන්නෙ තවත් කෙනෙකුට මානසිකව පීඩාවක් අත් කර දෙමින් .
එයට හොඳම උදාහරණය තමයි යුවතියක් එහෙමත් නැත්නම් කාන්තාවක් ටැටූ එකක් කරලා , කන තැන් දෙක තුනකින් විදලා කරාඹු දැම්මම , කොටට ඇන්දම , විලාසිතා කලාම සහා විලාසිතාකරණයේ නියැලෙන්නියක් වුනාම , කොණ්ඩය කපලා වර්ණ ගන්වලා විලාසිතා කලාම ඒ කාන්තාව ගණිකා වෘත්තීයේ නියැලෙන පහත් කාන්තාවක් බවට පත් කරන්නට මේ සමාජය පෙළඹිලා තියෙනවා . මොන තරම් උසස් හෝ සාමාන්‍ය මට්ටමේ රැකියාවක නිරත වූවත් ඇයගේ ජීවනෝපාය ගණිකාවක් එහෙම නැත්නම් බඩුවක් යනුවෙන් නම් කරන්නට තරම් උගත් ශ්‍රී ලාංකීය සමාජය නූගත් දූපත් මානසිකත්වයකින් සිතන්නට පටන් අරන් තියෙන්නේම ඒ නිසයි .
ඒ වගේම තමා කාන්තාවකගේ හොඳම යහළුවා පිරිමියෙකු වීම . ශ්‍රී ලංකාව වගේ සම්ප්රදාය ඉහ වහා ගිය රටකට අරුමයක් වූවත් බටහිර රටවල එය අරුමයක් නොවන සාමාන්‍ය මිත්‍ර සබඳතාවක් ලෙස පිළිගැනෙන ඇසුරක් . ඒත් අපේ රටේ සමාජය තුළ කාන්තාවක් පිරිමියෙක් සමඟ මිත්‍ර සබඳතාවක් පවත්වනවා කියන්නෙම ලිංගික ආශාවන් ඉටු කරගැනීමට ඇති කරගත් අනියම් සම්බන්ධයක් යනුවෙන් හඳුන්වන බැඳීමකට . ඇයට ඔහු සමඟ දවසේ කුමන හෝ ආහාර වේලක් එකට ගැනීමට , හවස කොෆී පානයකට යාමට , ඔවුනොවුන්ගේ අදහස් හුවමාරු කරගැනීමට නිදහසේ කතා බහ කිරීමට , විනෝද චාරිකාවක් යාමට , වැළඳගැනීමක් , ඡායාරූප ගැනීමට ආදී කිසියම් වූ කාරණයක් නිදහසේ විඳීමට සම්ප්රදාය යන වචනයෙන් ඔලුව පුරවාගත් මේ සමාජය තුල ඉඩක් කිසිසේත්ම නැත . එවන් මිත්‍රත්වයක් ” කාමේසු මිච්ඡාචාරා ” යනුවෙන් තමයි අපේ සමාජයේ පවතින මතය . එහෙත් එවන් බැඳීමක් තුල ඇතුලාන්තය පිට ඉඳන් බලන අයට පෙනෙන ආකාරයට වඩා බොහෝ සෙයින් පවිත්‍ර ය . යහනක් පෙනෙන ඉසව්වක නොමැති පවිත්‍ර බැඳීමක් කාන්තාවකට තිබෙන්නට පුළුවන් . සමහර මිත්‍ර බැඳිම් තියෙනවා සංසාරයෙන් සංසාරයට අරගෙන ආව ආදරණීය බැඳීම් , එහෙම නැත්නම් කල්‍යාණ මිත්‍ර ඇසුරක් වෙන්නත් පුළුවන් . ඒ බැඳිම් ඇතුලේ ලිංගිකත්වය කියන්නේම පුස්සක් . ඇයි දන්නවද ඒ බැඳීම ඇතුලේ ප්‍රධාන වශයෙන් තියෙන්නේම එකිනෙකා වෙනුවෙන් තියෙන විශ්වාසය , තේරුම්ගැනීම සහ සවන්දීම යන කරුණු තුන . ඒ වගේම එකිනෙකාට පිහිට වීම යන මානූෂීය ගුණාංගය විතරමයි .
බොහෝ අවස්ථාවන් වල කාන්තාවකට පහරක් එල්ල කරන්නේම තවත් කාන්තාවක් මයි . තමන්ට මඟ ඇරුනු ආසාවන් , තමන් නොවින්ද ජීවිතය , තමන්ට කරන්නට නොහැකි වූ යමක් වෙන කෙනෙක් කරනවා දකිද්දි , තමන්ගෙ රූපය හරි හැටි පවත්වා ගන්නෙ නැතුව වෙන කෙනෙක් රූපය නිසි ලෙස පවත්වා ගෙන යන අයුරු දැක්කාම ඇතිවන ඊර්ෂ්‍යාව නිසා බොහෝ කාන්තාවන් තවත් කාන්තාවන්ට වචන පැවසීමට මෙන්ම පහත් කොට සැළකීමට පෙළඹෙනවා . එහෙම කාන්තාවන් සම්ප්‍රදායික රාමුවට කොටු වුන නිසා අදටත් නූගත් දූපත් මානසිකත්වයක තමා ජීවත් වෙන්නෙ . ඒ රාමුවෙන් පිටතට ලෝකය දකින්න අකමැතිකම නිසා ඇතිවන ඊර්ෂ්‍යාවක් නෙවෙයි ඒක . එකම හේතුව ජීවිතය නිදහස්ව සැහැල්ලුවෙන් ගත කරන්නට ඇතැම් කාන්තාවන්ට ඇති බාධාව නිසාම තමයි කාන්තාවකගේ සිත තුල අනෙකුත් නිදහස් කාන්තාවන් පිළිබඳව නොපහන් සිතුවිලි ඇතිවෙන්නෙ .
එහෙම වෙන්නත් හේතුව මේ සමාජයමයි . මේ සමාජය තුල එදා ඉඳන් මේ වනතුරු පැවතගෙන ආව ඇතැම් සාම්ප්‍රදායික අදහස් නිසා තමයි කාන්තාවකට එවන් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නෙ . මේ ලිපිය කියවන ඔබත් කාන්තාවක් . කාන්තාවකට පුළුවන් වෙන්න ඕන කාන්තාවකගේ සිතුවිලි තේරුම් ගන්න . ජීවිතය නිදහස් ව ගෙවන කාන්තා චරිතයක් දිහා ලස්සනට දකින්න කාන්තාවකට පුළුවන් වෙන්න ඕන . ඔබ තුල තවමත් සම්ප්‍රදායෙන් උදුම්මවාගත් ඔලුවක් තියෙනවනම් පොඩ්ඩක් ඒ රාමුවෙන් එළියට ලෝකය දකින්න , විඳින්න උත්සහ කරන්න . ඒ සාම්ප්‍රදායික රාමුවෙන් පුංචි දොරක් හදාගෙන එළියට එන්න . එතනින් එහාට තියෙන ලෝකය ඔබ හිතනවට වඩා සුන්දරයි , ඒ වගේම නිදහස් . කාන්තාවකට පුළුවන් ඒ නිදහස විඳගන්න . තමන් තමන් වෙන්න . එන්න ලෝකය දකින්න . තවත් කාන්තාවකගේ නිදහස ඔබේ ඇතැම් ගතානුගතික සිතුවිලි හේතුවෙන් ඇයට අහිමි කරන්නට තරම් අකාරුණික කාන්තාවක් නොවී තමාගේ ජීවිතය තමාගේම පමණක් බැවින් රාමුවෙන් පිටත ලෝකය දකින්නට , විඳින්නට උත්සහවන්ත වෙන්න .
- – නිමා –

